![]() |
![]() මිල්ලන්ගොඩ අප්පුහාමි මිල්ලන්ගොඩ වලව්වේ හිමිකරු |
රාජා බලා කියාගන්න ඇත්ගොව්වන් දෙන්නෙක් හිටියා. මෙයා කොහොමත් ටිකක් අකීකරුයි. සාමාන්‍ය මිනිස්‌සුන් ඕන කෙනෙකුට ළමයෙක් වගේ කීකරුයි. අවුරුදු ගාණක් පෙරහැරේ දැලෙ ගියෙත්, කරඬුව වැඩමෙව්වෙත් ඒ හින්දනෙ. ඒත් ඉතින් ඇත්ගොව්වන් එක්‌ක තරහෙන් තමයි හිටියෙ. එයාල කියන දේ අහන්න අකමැතියි. මිල්ලන්ගොඩ අලි ගාලෙ අනිත් අලින්ට සාත්තු සප්පායම් කරනවට මෙයා අකමැතියි. එයාට පෙනි පෙනී අනිත් අයට කෑම දෙනකොට එයාට කොළ අත්තක්‌වත් දෙන්නෙ නැතිනම් සාත්තු කරන අයට ලී කැබලිවලින් දමල ගහනවා."
කෑගල්ල මිල්ලන්ගොඩ වලව්වේ හිමිකරු මිල්ලන්ගොඩ අප්පුහාමි මහතා මේ තොරතුරු කියන්නේ දරුවකු මෙන් හදාවඩාගෙන ආසියාවේම සාඩම්බරය බවට පත්කළ මිල්ලන්ගොඩ රාජා පිළිබඳවය. වර්ෂ 1946 දී පමණ රජය මගින් නිකුත් කළ වන අලින් අල්ලාගැනීමේ බලපත්‍රයක් අනුව වයඹ පළාතේ ආණමඩුව ප්‍රදේශයේ කැලෑවකින් අල්ලාගන්නා ලද රාජාගේ එකල වයස අවුරුදු 4 - 5 ක් පමණ වන්නට ඇතැයි අප්පුහාමි මහතා පවසයි. කෙළිලොල් දඟකාරයෙක්‌ව මිල්ලන්ගොඩ වලව්වට රැගෙනවිත් අප්පුහාමි මහතාගේ රැකවරණය යටතේ හැදී වැඩුණු මිල්ලන්ගොඩ රාජා ක්‍රමයෙන් තුරුණු වියට එළැඹෙන්නේ මිල්ලන්ගොඩ ඇත්තන්ගේ ආදරය කරුණාව ලබමිනි. ඒ අතර අප්පුහාමි මහතාගේ ආදරය රාජාට මහ මෙරක් තරම් වූයේ අම්මාගෙන් වෙන්වූ පසුව තමන්ට සිටින එකම ස්‌නෙහෙවන්තයා මොහු බැවිනි. එනිසා රාජා මිල්ලන්ගොඩ අප්පුහාමි මහතාට දැක්‌වූයේ අපමණ කීකරුකමකි.
"ඇත්ගොව්වන්ට ටිකක් අකීකරු වුණාට එයා මට හරිම කීකරුයි. ආදරෙයි. ගෙදර අයටත් කීකරුයි. මට වගේම මගේ පුතාටත් හරිම කීකරුයි.
අපි මෙයාගෙන් කවදාවත් බර වැඩ අරගෙන නෑ, ඒත් එයා ගේ කෑමට අවශ්‍ය පොල්, කිතුල් වගේ කොළ මිටි අරගෙන එන්න ඇත් ගොව්වොත් එක්‌ක යනවා. ගොව්වොත් එක්‌ක තියෙන තරහටද මන්ද කොළ මිටිය හදල දුන්නට වෙලාවකට මෙයා කොළ මිටිය ගේන්නෙ නැතිව පැත්තකට වෙලා පොඩි සද්දයක් දානවා. එතකොට ඉතින් මම හරි පුතා හරි තමයි යන්නෙ. ගිහිල්ල කතා කළාම අනේ පොඩි එකෙක් වගේ කීකරුවෙලා කොළමිටිය ගෙදරටම අරගෙන එනවා. හාම්පුතාට හරිම ළෙන්ගතුයි. මඳ කිපෙන කාලයට මම තමයි සතාව බලාගත්තේ. මම ළඟට යනවානම් එයාට වෙන මොකුත් ඕන නැහැ." අප්පුහාමි මිල්ලන්ගොඩ මහතා තම සුවච කීකරු ඇත් රාජයා ගැන මෙවන් කතාන්දර පවසන්නේ හිතේ ගින්දරකින් බව මට හැඟේ. ඔහුට දැන් වයස අවුරුදු 89 ක් තරම් වේ. වයස පහේදී පමණ අල්ලා ගත් රාජා පසුගියදා මියයන තෙක් වසර 66 ක් තමා ළඟ සිටි යෝධ සෙවණැල්ලක් බව ඒ මහතා කියයි. මියයන විට මේ අනුව රාජාගේ වයස අවුරුදු 71 - 73 අතර විය හැකි බවයි මිල්ලන්ගොඩ අප්පුහාමි මහතාගේ අදහස වන්නේ. තම සෙවණෙහි වසර 66 ක් දිවිගෙවූ රාජා ගැන තවදුරටත් මතකය අවදි කරමින් අප්පුහාමි මහතා කියූ කතා ඉතා සුන්දරය.
"රාජා පෙරහැරේදී මිනිස්‌සුන්ට හරිම හිතවත්. ඒත් අලි ගාලේදි අකීකරුයි. මම කොහේහරි ගිහිල්ල රාත්‍රී 10-11 ට ආවත් ගාලෙ ඉඳන් කෑගහනවා. ඉතින් මම ගාල ළඟට ගිහිල්ලා ඉන්න කෙනෙකුට කියලා කෙහෙල් ගහක් හරි කපලා මගේ අතින් රාජාට දෙන්නෙ උඹල සතාට කන්න දීලා නැහැ කියලා සතාට ඇහෙන්න ගෝලයන්ට දොaස් මුරයක් දාලා. හෙට උදේට තියෙන කෑම වේලෙන් හරි කොටසක් මගේ අතින් එයාට ඒ වෙලාවෙ දෙනවා. ඒ හින්ද මට හරිම ළෙන්ගතුයි. මට ඔන්න තවත් කාරණයක් මතක් වුණා. ඇත් ගොව්වො රාජා අරගෙන පෙරහැරවලට හරි, කොළ අතු මිටි කපන්න හරි ගිහිං කොහේහරි වත්තක සතාව බඳිනවා. මම දන්නේ නෑ සතා කොහෙද ඉන්නේ කියලා. ඒත් මම කාර් එකෙන් ඒ පැතිවල යනකොට කාර්එකේ හෝන්එක එයා හොඳට අඳුරගෙන කන්දීලා ටිකක් කලබල කරනවලු. ඇත්ගොව්වො තමයි මට කියන්නේ. හෝන්එක පවා වෙන්කරලා හඳුනගන්න හැකියාවක් රාජාට තිබුණා." මිල්ලන්ගොඩ මහතා පවසයි.
මිල්ලන්ගොඩ අප්පුහාමි මහතා කියන පරිදි රාජා පළමුව පෙරහැරකට සහභාගි වී ඇත්තේ මහනුවර මහා විෂ්ණු දේවාලයේ පෙරහැරටය. ඉන් අනතුරුව දළදා පෙරහැරේ දැලේ ඇතකු වශයෙන් සහභාගි වී තිබේ. නමුත් ප්‍රථමයෙන්ම රාජා දළදා කරඬුවම වැඩවෙමූ වසර ඔහුගේ මතකයේ නැත. හැරිස් රත්වත්ත දියවඩන නිලමේවරයාගේ සමයේදී මෙසේ මහා විෂ්ණු දේවාලයේ පෙරහැර කළ බවත්, දළදා කරඬුව වැඩමවන ලද්දේ උඩුරාවණ දියවඩන නිලමේගේ සමයේදී බවත් මිල්ලන්ගොඩ මහතා පවසයි. එතැන් සිට වසර 35-40 ක් පමණම දළදා කරඬුව වැඩමවූ මෙම සුපින්වත් ඇත් රජු ආසියාවේ දිගම දළ සහිත ඇතා ලෙස ලෝක වාර්තාවක් තැබුවේය. මාගේ අදහස නම් මෙවන් අලින් වෙසෙන්නේ ආසියාවේ පමණක් බැවින් මිල්ලන්ගොඩ රාජා ලොව දිගුම දළ සහිත ආසියානු අලියා බවයි.
රාජාගේ දළ යුගල අඩි 7 1/2 ක් පමණ දිගුය. අභ්‍යන්තර කොටසත් සමඟ එය අඩි 9 ක් පමණ බවයි මිල්ලන්ගොඩ මහතා සඳහන් කරන ලද්දේ. රාජා උසින් අඩි 11 1/2 කි. තෙදවත් ඇත් රාජයකු වූ රාජා මිල්ලන්ගොඩ ඇත්ගාලට නායකත්වය දුන්නේය. වනයෙන් අලි - ඇතුන් 40 ක් පමණ අල්ලාගත් මිල්ලන්ගොඩ අප්පුහාමි මහතාගේ අලිගාලේ නිරන්තරයෙන් අලි ඇතුන් 10 ක් පමණ සිටි අතර රාජා මියයන තෙක් එහි සාමාජිකයින් පස්‌දෙනකු විසීය. රාජාගේ දළ යුගල ක්‍රම ක්‍රමයෙන් වැඩෙන්නට පටන්ගෙන ඌ මියයන අවස්‌ථාව වනවිට බිම ගැටෙන නොගෑටෙන ගාණට වැඩි තිබිණි. මිල්ලන්ගොඩ මහතා කියන පරිදි පොළොවේ ගැටෙන්නට තවත් තිබුණේ වියතක පමණ පරතරයකි. එහෙත්, සෘජු ලෙස ආහාර හෝ ජලය ගැනීම සඳහා පහත් කරන සෑම විටම පොළොවේ ගැටුණේය. මේ නිසා ආහාර ගැනීම රාජාට මහත් අපහසුතාවයක්‌ම විය. කෑම වර්ග ළඟාකර දුන්නේ අනෙකුත් අලි - ඇතුන් විසිනි. සාමාන්‍යයෙන් මසකට රුපියල් 45,000 ක් තරම් වියදමක් උගේ නඩත්තුව සඳහා වැය කෙරුණු අතර, වයසට යන තෙක්‌ම කිසිදු ලෙඩක් තිබුණේ නැති බව අප්පුහාමි මහතා පවසයි. වයෝවෘද්ධ නිසාම දත් ගෙවී ගිය බැවින් රළු ආහාර ප්‍රතික්‌ෂේප කළ අතර රාජා යෑපුණේ මෘදු ආහාර හා බෙහෙත්, විටමින් වර්ග වලිනි. රාජා ආරක්‍ෂාකරගැනීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ මැදිහත්වීමෙන් බෙහෙත්, විටමින් හා කොළඹින් පශු වෛද්‍යවරුන් පවා ලැබුණු බව කෘතවේදීව සිහිපත් කළ අප්පුහාමි මිල්ලන්ගොඩ මහතා මිල්ලන්ගොඩ රාජා රටට, ජාතියට, ආසියාවට සාඩම්බරයක් වූ බවද පවසයි. ලෝකයේ ඇතුන් දෙදෙනකු ජාතික වස්‌තූන් බවට ප්‍රකාශයට පත්වී ඇත. එකකු වූයේ දළදා මැඳුරේ රාජාය, එහෙමත් මිල්ලන්ගොඩ රාජාට ඒ ගෞරවය හිමි නොවීම දුකකි.
ජගත් කණහැරආරච්චි
ඡායාරූප - රඹුක්‌කන පුෂ්පකුමාර
No comments:
Post a Comment