
1708 දී නායක්‌කර් කුමරියක් ගෙනවුත් සරණකරගත් නරේන්ද්‍රසිංහ රජු ඇයට උඩුමාලේ දේවිය නමින් අමතන ලදී. නරේන්ද්‍රසිංහ රජවනු දැකීමට අකැමැති වූ මහනුවර වංශාධිපතිවරු සූදානම් වූයේ පට්‌ටියේ බණ්‌ඩාරකුමරු රජ කරවීමටයි. එහෙත් ඒ අදහස ක්‍රියාවේ යෙදවීමට නොහැකි විය. මීට විරෝධය දැක් වූ මාතලේ දිසාව වූ යොලේගාඩ, සතර කෝරළේ දිසාව වූ ඒදඬුවාව, ඌවේ දිසාව වූ කිරිවවුල, සත්කෝරළයේ දිසාව වූ බෝගමුවත් මොහොට්‌ටාල වරු හා නිලමේවරු පිරිසකුත් එකතුව උඩරට ප්‍රධානීන් 120 දෙනකුගෙන් යුත් සංවිධානයක් මගින් නරේන්ද්‍රසිංහට විරුද්ධව කැරැල්ලක් සංවිධානය කරන ලදී. මෙය ආරංචි වූ රජු කැරැල්ල මැඩීම සඳහා මහනුවර විෂ්ණු දේවාලයට බාරයක් ද වී ඇත. එහෙත් කැරැල්ල රජුට එරෙහිව නැඟී ආ නිසා "රම්මොළක" අදිකාරමගේ උපදෙස් පරිදි මාළිගයෙන් පැන ගිය රජු උඩිස්‌පත්තුවේ. පිහිටි පෝද්දල්ගොඩ නැමති ගමේ ගල්ලෙනක සැඟවිණි. රජුට හිතවත් වූ මොණරවිල දිසාව, හිඳගල අදිකාරම්, හුලංගමුවේ මොහොට්‌ටාල, මාම්පිටියේ බත්තනරාළ ගස්‌කොන් අප්පුහාමි ඇතුළු වංශාධිපතිවරුන් 32 ක් එකතුව කැරලිකරවැන්ට එරෙහිව සටන් කොට ඔවුන් නුවරින් පලවා හැරියේය.
කැරලිකරුවන් කීපදෙනෙක් මරණවධයට පත්කළ අතර රජු ආරක්‍ෂා කළ "රම්මොළක" අදිකාරම මහ අදිකාරම් ධුරයට ඔසවා තබන ලදී. මේ ආරාවුල් වලින් පසුව රජුගේ බිසවගේ නෑදෑපිරිස්‌ද බොහෝ ආ අතර ඔවුහු නුවර පදිංචි වූහ. එසේම හින්දු ආගමික සිරිත්ද වැඩිවන්ට විය. මෙය වංශාධිපතිවරුන් නොඉවසූ අතර රජුගේ එක් අමනෝඥ ක්‍රියාවක් නිසා රජුට හිතවත්ව සිටි වංශාධිපතිවරුද රජුට එරෙහි විය.
මීට හේතු වූයේ රජුගේ නායක්‌කර් බිසවගේ බාප්පාගේ පුතකු වන අයෙක් උසස්‌ම නිලයකට පත් කිරීමයි. වාසය සඳහා අලකොළංග ගම පවරාදී "මදුරේ වලව්ව" නමින් නිවසක්‌ද ඔහුට පරවා දෙන ලදී. ඔහු රජවාසල මහලේකම් වශයෙන් පත් කළ අතර හරතකේරළයේ ලේකම් මිටිය ලිවීමේදී ඒ සඳහා ඔහු භාවිත කර ඇත්තේ දෙමළ අංකයන්ය. පසුව ඔහුට "මහගබඩා නිලමේ" තනතුරද පවරන ලදී.
වර්ෂ 1732 දී රජුගේ මේ අසාධාරණ පත් කිරීම් වලට එරෙහිව මහා කැරැල්ලක් ඇති විය. මන්දාරම් පුවතට අනුව කැරලිකරුවෝ මහගබඩා නිලමේ මරා දැමූ අතර ඉන් කිපුන රජු කැරලිකරුවන් අල්ලා මරවා දෙතිස්‌වද පමුණුවා ඔවුන්ගේ ගම් බිම් ගිනිබත් කොට ඇති අතර පසුව තම අනුවණ කම් පිළිබඳ පසුතැවිලි වී ඇත. මෙය ලංකාවේ සිදු වුණ මුල්ම නායක්‌කර් විරෝධී සටන ලෙස හැඳින්වීමට පුළුවන.
නරේන්ද්‍රසිංහ රජු අමුතුම ගති සිරිත් ඇති අයෙක් බව විචාරකයන් පවසන අතර ඔහුගෙන් සම්මාන ලත් අනෙක් පිරිස නම් කතෝලික පූජකවරුන්ය. මුහුදුබඩ ප්‍රදේශ රෙපරමාදු භක්‌තික ලන්දේසීන් යටතට පත් වූ පසු එහි සිටි කතෝලික පූජකරුවනට කරදර හිරිහැර ඇති වීම නිසා ආගමික රැකවරණ පතා ඔවුන් ගියේ මහනුවර රජු ළඟටය. රජුද ඔවුන් ආදරයෙන් පිළිගත් අතර ඉඳුම් හිටුම් ද සලසන ලදී. මාතලේ වහකෝට්‌ටේ හා මරඳමඩු යන ප්‍රදේශ ඔවුන්ගේ වාසස්‌ථාන සඳහා යොදා ගැනීමට රජු අවසර දුන් අතර ආගමික නිදහසද ඔවුන්ට රිසිසේ භුක්‌තිවිඳීමට අවකාශ සලසන ලදී.
මහනුවරත් කුණ්‌ඩසාලෙත් කතෝලික පල්ලි ඉදි කර ගැනීම සඳහා ඔවුන්ට රජතුමා විසින් ඉඩම් ප්‍රදානය කරන ලදී. මුලින්ම නුවර වාසය සඳහා පැමිණි කතෝලික පූජකවරයා "ජුසේ වාස්" නම් පියතුමන්ය. මේ පියතුමන්ට භාෂා කීපයක් කතා කිරීමට හා ලිවීමට හැකි වූ අතර කතෝලික ආගම ප්‍රචාරය පිණිසත් මහනුවර ක්‍රිස්‌තු භක්‌තිකයන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමටත් කටයුතු යෙදීය. වර්ෂ 1695 දී ඉතා දරුණු වසූරිය වසංගතයක් මහනුවර පුරා පැතිර ගියේය. නිවසක මරණ තුනහතරක් සිදු විය. නගරය පාළු බවට පත් විය. ඇතැම් අය මහනුවර හැරගියේ බඩුපොදි හිසමත තබාගෙනය. රෝගය වැළඳුන මව් පියන් දරුවන් අතහැර පලා ගියේ ජීවිතය බේරා ගැනීමටය.
එකගෙදර මළ කුණු දෙක තුනක් නොතිබියේ කලාතුරකින්ය. එතරම්ම දරුණුවූත් කුරිරු වූත් වසංගතයක් මහනුවරට ඇතුළු වූයේ ඇයිද? යන්න ප්‍රශ්නයක් වූ අතර රජු නගරය හැර ගියේ වසංගතයට බියෙන්ය.
මේ වසංගත අවධියේ ජුසේවාස් පියතුමා රෝගීන් අතර හිඳිමින් ඔවුන්ට බේත් හේත් සපයමින් ආහාර සපයමින් කළ සේවාව විශිෂ්ටය. තාවකාලික සුවසේවා මධ්‍යස්‌ථාන ආරම්භ කරමින් කතෝලික පිරිස් සහභාගි කරවාගෙන සාත්තු සේවා කටයුතු ද කළේය. රජු මේ පිළිබඳ ඉතා සතුටට පත්ව තව තවත් ආධාර උපකාර කරන ලද අතර "ජාකෝ මේ ගොන්සාල්වේස්" පියතුමාද මේ අවධියේම නුවර පදිංචියට ආවේය. ඉන්පසු "ඉග්නේෂස් අල්මේදා" නම් තවත් පූජකයෙක් මහනුවරට ආවේය. මේ "ගොන්සාල්වේස්" පියනම උපතින් බ්‍රාහ්මණයකු වූ නිසා ඉතා ඉක්‌මනින් පාලි හා අනෙකුත් භාෂා ශාස්‌ත්‍ර ඉගෙනීමට හැකි විය.
මේ යුගයේ රජ මාළිගයේ විසූ ගස්‌කොන් අප්පුහාමි කතෝලික පූජකවරුන්ගේ හිතවතකු වූ අතර මේ ගස්‌කොන්ගේ පියා ප්‍රංශ ජාතිකයෙකි. අශ්වයන් රැකබලාගන්නකු වූ ඔහු ලැනරෝල් නම් වංශාධිපති තානාපතිවරයකු සමග අශ්වරථාචාරියකු සේ නුවරට ගිය අතර එහිදී ඔහුගේ හැසිරීමේ දුර්වලකම නිසා රජුගේ හිරකාරයකු බවට පත්විය. ඒ දෙවන රාජසිංහ රජුගේ අවධියේය.
ගස්‌කොන් පසුව මහනුවරදී පෘතුගීසි කාන්තාවක හා සරණ විය. ඔහුට දාව උපන් දරුවා පේදුරු ගස්‌කොන් නම් විය. පසු කලෙක ජ්‍යෙෂ්ඨ ගස්‌කොන් දෙවැනි විමලධර්ම රජුගේ අස්‌පන්තියේ මුහන්දිරම් තනතුර ලබා උසස් වීම් ලද්දේය. පේදුරු ගස්‌කෝන් රජමාළිගයේ හැදුණු වැඩුණු අතර නරේන්ද්‍රසිංහ කුමරුගේ යාළුවාද විය. පසුව රජවාසල අප්පුහාමි හෙවත් සැපයුම් සේවකයකු බවට පත්විය. ගොන්සාලවේස් පියතුමා සිංහල පොත පත ලිවීම සඳහා පේදුරු ගස්‌කොන්ගේ සහාය ලබාගත් බවට තොරතුරු පවතී. 1715 දී රජමාළිගාවේ ඇති වූ සිද්ධියක් නිසා ගස්‌කොන් හිසගැසුම් කන ලදී. ඊට හේතුව වූයේ අගබිසව සමග ගස්‌කොන්ගේ හිතවත්කමක් පැවතුන බවට ගෙතූ කතාවකි. මේ පෙම් පල හිලව්ව ඉතා අගනා රස වෑහෙන ජන කතාවක් බවට පත්ව ඇති අතර ඊට සම්බන්ධ කවි රාශියක්‌ද ඇත. ගස්‌කෝන් සමග ළඟින් ඇසුරු කළ ගොන්සාල්වේස් පියතුමාටද රජුගේ සැලකිලි අඩු විය.
මෙම ගස්‌කොන් හා සම්බන්ධ කතා පුවතේ තවත් හවුල්කරුවකු වූ "සුරියගොඩ තෙරුන්ද" රජු විසින් මරණවධයට පමුණුවන ලදී.
රජු බැහැදැකීමට ගිය ලැනරෝල් පරපුර අපේ රටේ කීර්තිමත් නමක් දිනාගත් අය වෙති. එදා රජු බැහැදැකීමට තානාපතියකුසේ ගිය "ලා නෙරෝල්" පසුව ලැනරෝල් නම් විය. ආදිමයා නන්ලෝරිස් ද ලැනරෝල්ය. ඔහුගෙන් පැවත ආ ලැනරෝල්වරු සිංහල බසට රැසට විශාල සේවාවක් කළ අයවෙති. අධ්‍යාපනය සඳහා පොත පත ලිවීමේ කාරියේද නියුතු වූ ලැනරෝල්වරු අතර වී. ඩී. ද ලැනරෝල් ප්‍රධාන තැනක් ගනී.
No comments:
Post a Comment