සිරි දළදා වඩම්මන ඉන්දිරාජාගේ සහ නැදුන්ගමුවේ රාජාගේ අපූරු කතාව


ඇසළ මාසයේ දී ශ්‍රී ලංකාවාසීනගේ පමණක් නොව විදේශිකයින්ගේද සුන්දර ම බලාපොරොත්තුව දළදා පෙරහරයි. ඉනුදු නොනැවතී ඒ බලාපොරොත්තුව තවදුරටත් තටු ගසන්නේ ඒ අසිරිමත් උත්තම දළදාව වඩම්මන ඇතා දෙසටය.

දළදාව වඩම්මන ඇත් රාජයා කාගේත් අභිමානයට පත්වේ. දේශ දේශාන්තරවල ද මේ ඇත් රජු පිළිබඳ යසෝරාව රාව ප්‍රතිරාව නඟයි. එනිසාම දළදා වඩම්මන්නට උපකාරී වේ යැයි සිතා කෙතරම් දේශීය හා විදේශීය ප්‍රභුවරුන් දළදා මාළිගාවට ඇතුන් පුදා ඇද්ද?
එහෙත් කනගාටුදායක එක් පුවතකින් මම සසල වෙමි. ඒ පූජනීය දළදා වහන්සේ වඩම්මන්නට අද ජීවතුන් අතර සිටින්නේ ඇතුන් තිදෙනෙක් පමණි. ඉන් පළමු වැන්නා නැදුන්ගමුවේ රාජාය. දෙවැන්නා කතරගම වාසනා හස්ති රාජයාය. තුන්වැන්නා මාළිගයේම සිටින ඉන්දිරාජාය.
වාසනා කතරගම පෙරහර මංගල්‍යය කරටගෙන සිටී. ඒ නිසා නුවර දළදා වැඩමවීමට ඇත්තටම සිටින්නේ ඇතුන් දෙදෙනෙකි. වෑවලදෙණියේ රාජා දළදා වහන්සේට මහත් ගරුසරු වුවද දැන් අසනීපකාරයෙකි.
අද දළදාව වඩම්මන්නට සිටින නැදුන්ගමුවේ රාජා හා ඉන්දිරාජා යන දෙදෙනාම අපට ලැබුණේ ඉන්දියාවෙනි. නැදුන්ගමුවේ රාජා නීලම්මහර පන්සලේ ලොකු හාමුදුරුවන්ට ඉන්දියාවේ මහරාජා කෙනෙක් පූජා කළ අතර ඉන්දිරාජා දළදා මාළිගාවට පිදුවේ රජිව් ගාන්ධි හිටපු ඉන්දීය අගමැති තුමාය. බුදුන් වහන්සේගේ උත්තම ධර්මය ද අපට ලැබුණේ ඉන්දියාවෙනි. මේ පෙරහරේ වඩම්මවන්නේ ද ඒ ශාන්තිනායකයාණන්ගේ වාම දන්ත ධාතුවය.
එමතු ද නොව ගංගාරාමයේ නවම් රාජා හා නැදුන්ගමුවේ රාජා ද අපට ලැබුණේ ඉන්දියාවේ මයිසූර් ප්‍රාන්තයේ එකම ඇත් ගාලකිනි. නවම් රාජා ගංගාරාම පෙරහරට මහ මෙහෙයක් කොට මියගියේය. සමහර විටෙක මේ ඇත් ගාලේ මේ පැටවු දෙදෙනා එකම අම්මා කෙනෙකුගේ කුසින් හා එකම තාත්තා කෙනෙකුට දාව ඉපදුණාදැයි විමසා බැලිය යුත්තකි.
දළදා වහන්සේට යම් බඳු ගෞරවයක් තිබේ ද එබඳුම සෙනෙහසක් දළදා වඩම්මන අලි ඇතුන්ට ද දැක්වීම බොදුනු අප හැමගේ සිරිතය. ගල යටින් නුවර පෙරහරට යන නැදුන්ගමුවේ රාජාට මාවනැල්ලේ, පිළිමතලාවේ බෞද්ධ අපේ අම්මලා හරසර දක්වනු අපි කොතෙකුත් දැක ඇත්තෙමු.
ඇත්තටම මෙවර ඒ අති උත්තම දළදා වහන්සේ වැඩම වන්නේ කවුරුන්දැයි අපට මේ මොහොතේත් සිතා ගත නොහැකිය. ඔවුනගේ රුව ගුණ සොයා ගිය ගමනක තොරතුරු ඔබට ලියා දක්වන්නේ හදපිරි සතුටිනි.
වෛද්‍ය ශිරෝමණී පණ්ඩිත නැදුන්ගමුවේ රාළහාමි නැදුන්ගමුවේ රාජාගේ අයිතිකාරයාය. එහෙත් අද එම රාළහාමි අප අතරින් වියෝ වී ගොසිනි. එතුමාගේ පුතා වන වෛද්‍යාචාර්ය හර්ෂ ධර්ම විජය මහත්මයා අද මේ ඇතාගේ හිමිකාරයාය. එතුමා ඇසුරින් අපි නැදුන්ගමුවේ රාජා හඳුනා ගනිමු.
“අපේ පරම්පරාවේ කවදත් අලි හිටියා. අපේ සීයත් අලින්ට ආදරෙයි. එතුමත් අලි ඇති කළා. තාත්තත් අවුරුදු 85 ක් ජීවත් වුණා. ඒ මුළු කාලය පුරාම අලිත් සමඟ තමයි ඔහු හුස්ම ගත්තෙ. නැදුන්ගමුවේ රාජා ඇතාට දැන් වයස හැටයි. ඒ කාලෙ මහරගම නීලම්මහර වෙද හාමුදුරුවො ඉන්දියාවෙ මයිසූර්වල හිටි මහරාජා කෙනෙකුගේ ඥාතියෙකුට තිබුණු දරුණු ශිර්ෂාබාධයක් සුව කරලා තියෙනවා.
ඊට කළගුණ සැලකීමක් වශයෙන් ඒ මහරාජා හාමුදුරුවන්ට ඉන්දියාවේ සංචාරයක් සඳහා ආරාධනා කළා. හාමුදුරුවො දඹදිව වඳින්නත් එක්කම ගිහින් මහරාජත් හමු වුණා. එතුමා අපේ නායක හාමුදුරුවන් ගෞරවයෙන් පිළිගෙන දන් පින් කරල තමන්ගෙ විශාල වත්තෙ උන්වහන්සේ සමඟ ඇවිද්දා.
එතුමාට විශාල ඇත් ගාලක් තියෙනවා. හාමුදුරුවන් ගෙන් ඇහැව්වා මේ අතරින් කවුරුන් හරි ඕන ද කියල. ඒ ඇත් ගාලෙ ඇතුන් සිය ගාණක් හිටියා. පැටවුන් හතළිහක්, පනහක් හිටියා. හාමුදුරුවො යමක් ඉල්ලුවෙ නැති වුණත් මහරාජා දළ තිබෙන පොඩි පැටවු දෙන්නෙක් නැව් මඟින් හාමුදුරුවන් සමඟම ලංකාවට එව්වා. මේක සිද්ධ වුණෙ නවසිය පනස් ගණන්වල මුල් භාගයේ.
නීලම්මහර පන්සලට ගෙනාවට මොකද? මේ ඇත් පැටවු පන්සලේ එහෙ මෙහෙ දුවන කොට හාමුදුරුවන්ගෙ වෛද්‍ය කර්මෙට කරදරයි. ඒ නිසා හාමුදුරුවො මේ ඇත් පැටවු විකිණුවා. එක් පැටියෙක් ගියේ ඇඹිලිපිටියට. අනෙත් එක්කෙනා හොරණ උඩුව පළාතට. හොරණ උඩුව පළාතට ගිය සතා අවුරුදු විසිපහක පමණ තරුණ කාලෙ අපේ තාත්තා මිලදී ගත්තා. ඇඹිලිපිටියට ගිය පැටියා තමයි පසු කාලයක ගංගාරාමයට එන්නෙ. එයා තමයි ඊයෙ පෙරේදා මියගිය ගංගාරාමයේ නවම් රාජා.”
“අපේ තාත්තා ගාවට ආවට පස්සෙ උඩුවෙ හිටපු ඇතා නැදුන්ගමුවෙ රාජා වුණා. මට එතකොට අවුරුදු දාහතක් විතර ඇති. රාජාට අවුරුදු විසිපහයි. අපි දෙන්නා සෙල්ලම් කරමින් තමයි හැදුණේ. ඒත් තාත්තා නිතරම කී කථාවක් තමයි ‘අලියා වෙනස් වෙනවා. කොච්චර පින් සහිත සතෙක් වුණත් කලබල කරන්න පුළුවන්.                                                                

 නැදුන්ගමුවේ රාජා ධර්ම විජය මහතා සමඟ

ඒ නිසා වැඩිය අලියා ළඟට යන්න එපා’ ඒක තමයි තාත්තගෙ අවවාදය. අලි බාසුන්නැහැ වුණත් හැමදාම උදේට ඇතා ළඟට යන්නෙ එයාට කථා කරලා. එතකොට එයා ප්‍රතිචාර දක්වනවා. ඒ අමුතු සද්දයක් දාලා. බෙටි ගහලා. මුත්‍රා දාලා. එහෙම නැත්නම් එදාට යන්ඩ හොඳ නෑ.
සාමාන්‍යයෙන් නැදුන්ගමුවේ රාජා ඉතාම හොඳ සතෙක්. මෙයා අනිවාර්යයෙන්ම ලබන ආත්මෙ මනුෂ්‍යයෙක් වෙන බව මට විශ්වාසයි. කවරදාවත් මනුෂ්‍ය ඝාතනයක් කරලා නෑ. මේ අවුරුදු 60 ට. එහෙම වෙන්න පුළුවන් විදියට අප ඉඩ තියලත් නෑ. එයා මේ වතාවෙ දළදා කරඬුව වඩම්මන්නෙ 8 වැනි වතාවට. අපි එයාට කියලා වැඩ ගන්නෙ නෑ. උතුම් දළදා වහන්සේ වඩමවන සතාට තමාට කන්න කිතුල් කොටයක් අදින්න විතරයි අපි දෙන්නෙ.
මාත් ගැටයා කාලේ හරි වැඩක් වුණා. අලියට උදේම කිතුල් කොටයක් කන්න දීලා අලි බාසුන්නැහැත් එක්ක අත්තනගලු ඔයට ගියා එයාව නාවන්න. පෙරදා වැස්සට අත්තනගලු ඔය පිරිල පිටාර ගලන තත්ත්වයට තිබුණේ. සාමාන්‍යයෙන් අලියෙක් නාවන්න ගඟට බස්සන කොට දම්වැල ගඟ අයිනෙ විශාල ගහක බැඳල තමයි බස්සන්නෙ.
ඒත් කීකරු සතා නිසා අපි නිකම්ම ඔයට බැස්සුව. මෙයා ඔය මැද්දටම ගිහින් සෙල්ලම් කර කර හිටියා. සාමාන්‍යයෙන් අලියා ජලයට කැමැති සතෙක්. දැන් වතුර පිටාර ගලන හින්ද බාසුන්නැහැට එතනට යන්න බැහැ. කථා කළා. කථා කළා. අලියා එන්නෙත් නැහැ. එයා හරි ආඩම්බරකමට එහෙම්මම හිටිය.
අලි බාසුන්නැහැ බැරිම තැන වතුරෙ පීනල ගිහින් ඇතාගෙ පිටට ගොඩ වුණා. එහෙම ගොඩ වෙලා කියද්දි විතරයි ඇතා ඇහැව්වෙ. ඒ වගෙ වෙලාවට එයාට ආදරෙන් කථා කළොත් විතරයි යමක් අහන්නෙ. අපේ ගෙවල් ළඟම පිට්ටනියක බක්මහ සැණකෙළියකටත් මෙයා ගියා. මිනිස්සු ආශාවට මෙයාගෙ දළ අතගානවා. දැන් මේ දළ දෙක එළියට අඩි හතර හමාරක් විතර දිගයි. සමහරු ඇඟ අත ගානවා. මේ අතර බීපු මනුස්සයෙක් හිටියා එයා ඕනෑවට වඩා රාජාට කොළොප්පම් කළා. දළ දෙකේ එල්ලිලා අන්තිමේදී ඔන්චිලි පදින්නත් ගත්තා.
පළාතේ සැඬ පරුෂ මිනිහෙක් නිසා දැන් අලි බාසුන්නැහැත් නිහඬයි. අරක්කු ගඳ ඇතාට දැනුණා. ඔළුව ගැස්සුව විතරයි අර මිනිහා යාර දහයක් විතර වීසිවෙලා පස් කණ්ඩියක හැපිලා කොන්දත් බිඳුණා. ඇතාට ආදරයෙන් කථා කරල අලි බාසුන්නැහැ රාජාව නවත්වා ගත්තා. මෙයා ප්‍රාණඝාතයට අකමැතියි. මත්ද්‍රව්‍ය පානයට අකමැතියි. කිසිම නරක වැඩක් කරන්නෙ නැහැ.
මෙයා මුලින්ම දළදා කරඬුව පිට උඩ තබා ගන්නෙ 2005 වසරෙ. පළමු වතාවෙ හරි වැඩක් වුණා. කරඬුව සහිත රන්සිවිගෙය ගැටගහන්න පඩිපෙළ කීපයක් නැඟල යන්න ඕනෑ. එතෙක් එහෙම දෙයක් නුපුරුදු රාජා මේ පඩි නැංගෙ නැහැ. කොච්චර කථා කළත් ගියෙ නැහැ. අන්තිමේ දළදා මාළිගාවෙ ඉහළ නිලධාරීන් දළදා හාමුදුරුවන්ට බාරයක් වුණා.
පුදුමයි! මෙන්න මෙයා හනි හනිකට උඩට නඟිනව. ඊළඟ ප්‍රශ්නය ආවෙ කරඬුව සහිත රන්සිවි ගෙය මෙයාගෙ බඳ වටා බඳින්න බැරි තරම් මෙයාගෙ බඳ මහත වැඩිවීමයි. කලින් හිටපු දළදා මාළිගාවෙ රාජාගේ බඳ පටි මෙයාට සෑහුණේ නැහැ. ඒ නිසා බඳපටි අලුතෙන් සකසන්නත් සිදුවුණා. අඩි එකොළහක් උස නිසා කරඬුව ගැට ගැහැව්වම වහලෙත් වදිනවා.
කෑගල්ලේ ගල යටින් එදා තමයි මුලින්ම නැදුන්ගමුවෙ රාජා නුවර ගියේ. පාවාඩයක් නොදැම්මොත් කවරදාවත් කරඬුව පිට තියාන එයා ගමන් කරන්නෙ නැහැ. සාමාන්‍යයෙන් ආඩම්බර කාරයෙක් වුණත් නැට්ටුවො ඇ‍ඟේ හැපුණත් කරඬුව ගත්ත වෙලාවට මෙයා පොඩි ළමයෙක් වගෙයි. මහත්තයො මෙයා ලබන ආත්මෙ නම් අනිවාර්යයෙන්ම මනුෂ්‍යයෙක්. දළදා කරඬුව වඩමවාගෙන යනකොට මෙයා සතුටු කඳුළු වගුරවමින් යන්නෙ.
ධර්ම විජය මහතාගේ කථාවට මොහොතක් සමු දී අපි ඊළඟ දළදා වඩමවන්නා ගැන කරුණු සොයමු. කතරගම වාසනා ඇතා කතරගම පෙරහර නියෝජනය කරන නිසා ඊළඟ තරගකරු ඉන්දිරාජා ගැන කෙටියෙන් පවසමි.
ඉන්දිරාජා මේ රටට ලැබෙනුයේ ඉන්දියාවෙනි. 1986 දී එවකට ඉන්දීය අගමැති රජිව් ගාන්ධි මහතා දළදා මාළිගාවට මේ සතා පූජා කර තිබේ. දළදා මාළිගාවේ මාධ්‍ය කටයුතු අංශයේ ප්‍රදීප් මහතා මා සමඟ කීවේ මෙසේ ය.
“එයා මෙහෙ එනකොට වයස අවුරුදු හයයි. දැන් අවුරුදු තිස් හයක් වෙනවා. දළ දෙක සාමාන්‍යයෙන් එළියට අඩි හතරක් විතර වෙනවා. එයාගෙ ශරීරය හුඟාක් ලොකුයි. 1992 වසරේ ඉඳන් වාර දහයකට වැඩිය මෙයා කරඬුව වඩම්මලා තියෙනවා. තාමත් තරුණ වයසෙ දඟකම් තිබුණත් කරඬුව ගත්තම උපාසකයෙක් වගෙයි. මද කිපෙන කාලයට සැරයි. ඒත් දියවඩන නිලමෙ තුමාට, නායක හාමුදුරුවන්ට ගොඩක් ආදරෙයි.
බොහොම සියුම් කල්පනා තියෙන සතෙක්. කවරදාවත් අනවශ්‍ය තැන්වල කලබල කරල නැහැ. එහෙත් එක්තරා අවස්ථාවක එක් මිනිස් ඝාතනයක් කරලා තියෙනවා.
වෑවලදෙණියෙ රාජා දැන් අසනීපයෙනි. කතරගම වාසනා කතරගම මහ පෙරහර සෝබමාන කරවයි. අති උත්තම දළදා වහන්සේ මෙවර වඩම්වන්නේ ඉන්දිරාජා ද? නැතහොත් නැදුන්ගමුවේ රාජා ද?
හෙට දවසේ මේ පින්බර සතුන් අහිමි වූ දාට උත්තමසිරි දළදාව වඩම්වන්නේ කුමන ඇතුගේ පිටින්දැයි මම සංවේගයෙන් ඔබෙන් අසමි.