මහනුවර සම්ප්‍රදායයේ සිතුවම් කලාව



පැරණි ශ්‍රී ලංකාවේ කලා ප්‍රබෝධය සම්බන්ධයෙන් මහනුවර සම්ප්‍රදායයේ සිතුවම් සුවිශේෂි වෙයි.මහින්ද සෝමතිලකගේ අදහසට අනුව පැරණි ශ්‍රී ලංකාවෙහි චිත්‍ර කලාවේ අවධිකරණය යුග පහකට ඛෙදේ.ඉන් පළමු වැන්න ක්‍රී.පූ දෙවන සියවසට අයත් සිතුවම් ලෙසින් ද,දෙවැන්න ක්‍රී.ව පස්වන සියවසේ සිට එකොළොස් වැනි සියවස දක්වා කාලයෙහි සීගිරිය,හිඳගල,දිඹුලාගල,මිහින්තලය,මහියංගනය ආදි ස්ථානයන් හි සිතුවම් ද තෙවැන්න ලෙස ක්‍රි.ව දොළොස්වන සියවස අවට කාලයේ තිවංක පිළිමගෙය,ගල්විහාරය,දිඹුලාගල මරාවිදියෙහි සිතුවම් ද සිව්වැන්න ලෙසින් ක්‍රී.ව දහතුන හා දාහත සියවස අතර කාලයේ ගඩලාදෙණි විහාර ශිඛරයේ ඇති සිතුවම්ද පස්වැන්න දහඅට හා දහනව වැනි සියවස් කාලය අතර මහනුවර සම්ප්‍රදායයට අයත් සිතුවම් ලෙසින් මේ අදියරයන් දක්වා තිබේ.

මෙලෙස හදුන්වනු ලබන අවධිකරණය දේශපාලනික අවධිකරණයක් ලෙසින් හැඳින්විය නොහැකි බවත් එය කලාවෙහි ශෛලීන් හි ඇති වූ වෙනස්කම් හෝ ආවේණික ලක්ෂණ මත පදනම්ව ගොඩනගන ලද්දකි.එසේ වූවත් සම්ප්‍රදායන් අතර පොදු සාම්‍යකරණයක් දෘශ්‍යමාන වන අවස්ථාවන් ද විරල නොවේ.තිවංක පිළිමගෙයි සිතුවම් හා දහඅට,දහනවවන සියවස් වල මහනුවර සම්ප්‍රාදායයේ සිතුවම් අතර ඇත්තේ ඛෙහෙවින් සමාන ශෛලියකි. බිත්ති පෘෂ්ඨය තීර කිහිපයකට ඛෙදා ඒ මත අඛණ්ඩ කථන ක්‍රමය යොදා ගනිමින් පොදු ආකෘතියක් ලෙසින් සැලකිය හැකි ක්‍රමයක් මත මෙම සිතුවම් ඇඳ තිඛෙනු දැකිය හැකි වේ.ඒ අනුව දොළොස් වන සියවසට අයත් පොළොන්නරු සමයෙහි බලපෑම ක්‍රි.ව 13 වන හා 17 වන සියවස අතර කාලයටත් එකී බලපෑම පැහැදිළිවම මහනුවර සම්ප්‍රදායයේ චිත්‍ර කලාවන්ටත් බලපා ඇති බව කිවයුතුය.

මෙසේ පූර්ව අවදීන් හි චිත්‍රකලා සම්ප්‍රදායයන් සමඟ සාම්‍යයක් පැවතියද මහනුවර සම්ප්‍රදායය ඊටම ආවේණික වූ ලක්ෂණයන්ගෙන් ද බැහැර නොවේ. එසේම පොළොන්නරු, දඹදෙනි හා අනෙකුත් තදාසන්න රාජ්‍ය සමයන්හි සිතුවම් හි ලක්ෂණයන් ඉක්මවා යනු ලැබූ දැඩි ශෛලිගත ස්වාභාවයක් මහනුවර සම්ප්‍රදායය තුළින් ඉස්මතු වී පෙනෙයි. මහනුවර හා තදාසන්න ප්‍රදේශ කේන් කොට ගෙන ඇරඹි සිතුවම් කලාව තවදුරටත් කෙසේ ව්‍යාප්ත වූයේ ද යන්නත් එසේ ව්‍යාප්ත වීම උදෙසා බලපෑ දේශපාලනික හා ආගමික පිටුබලය කෙතරම් ද යන්න තවදුරටත් සලකා බැලිය යුතු වේ.

මහනුවර රාජධානිය සාමාන්‍ය ව්‍යවහාරයෙන් ඉතිහාසයේ අඳූරු යුගය ලෙස හදුන්වනු ලබයි.මහනුවර රාජධානියෙහි මුල් කාලීන පාලකයන් වූ සේනාසම්මත වික්‍රමබාහු (ක්‍රි.ව 1459 - 1511),ජයවීර (ක්‍රි.ව 1511 - 1551), කරළියැද්දේ බණ්ඩාර (ක්‍රි.ව 1551 - 1581), පළමුවැනි රාජසිංහ (ක්‍රි.ව 1581 - 1591)හා දෙවන රාජසිංහ (ක්‍රි.ව 1629 - 1687)ආදී රජවරුන්ගේ පාලන කාලය තුළ උඩරට රාජධානිය අභ්‍යන්තර අවුල් වියවුලට හා විදේශ ආක්‍රමණයන්ගේ තර්ජනයට පත් දේශපාලනික වශයෙන් අස්ථාවර කාල වකවානුවක් විය. මේ කාලය තුළ ආගමික හා සංස්කෘතික ප්‍රබෝධයක් ඇති වුණි නම් එය ඉතා සීමාසහිත ආකාරයෙන්ය.
උඩරට රාජධානිය මුල් අවධියෙහි දේශපාලනික වශයෙන් අස්ථාවර වූ බැවින් කලාව හා විනෝදාස්වාදය යන්න අත්පත් කර ගැනීමට අසීරු අංගයක් බවට පත් විය.ඉනික්බිති රාජ්‍යත්වයට පැමිණි නායක්කාරවරුනටද මෙකී තත්ත්වය මෙලෙස බලපානු ලැබූවද ඔවුන් ජනයාගේත්,සංඝයාගේත් නොමද සහය ලබාගැනිමේ අරමුණින් සිය විජාතික භාවය වසා ගැනීමේ උපක්‍රමයක් ලෙසින් වියවුලේ සිට වුවද කලාවන් සඳහා අනුග්‍රහය දක්වන්නට විය.

කෝට්ටේ රාජධානිය බිඳ වැටීමෙන් අනතුරුව මහනුවර නිතැතින් ම බෞද්ධාගම ආරක්ෂා කරනු ලැබූ ස්ථානය විය.එහි රජු බෞද්ධාගමේ ප්‍රධාන ආරක්ෂකයා බවට පත් විය.මෙම සම්ප්‍රදායය තවදුරටත් ස්ථාපිත කරනු වස් නායක්කාර් වංශික රජවරු ද උඩරට රජ කළ බෞද්ධ පාලකයින් මෙන් ක්‍රියා කරන්නට වූහ.එවැනි වෑයමක ප්‍රශංසනීය මෙහෙයක් කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ කාලයේදී මහනුවර රාජධානිය ලැබූ පුනර්ජීවනයෙන් පෙනී යයි. වැලිවිට සංඝරාජ හිමියන්ගේ අනුශාසනයත් කීර්ති ශ්‍රී රජුන්ගේ අග්‍රදායකත්වයක් එක් වීම සමඟ මහනුවර රාජධානිය පුරා බෞද්ධාගමික පුනර්ජීවනයක් සේම සංස්කෘතික පුනර්ජීවනයක් ද ඇති විය.

මල්වතු විහාරය,ගංඟාරාමය,දෙගල්දොරුව වැනි විහාරාරාම අලූතින් නිර්මාණය වීමත් රිදී විහාරය,මැදවෙල,සූරියගොඩ හා දළදා මාලිගාව ආදිය ප්‍රතිසංස්කරණය කිරීම මේ අවධියේ කලාත්මක ක්ෂේ්ත්‍රයේ ඇති වූ වැදගත් සිදුවීම් ලෙස සැලකිය හැකිය.ගෘහ නිර්මාණාක්මක අංශයේ නිමවුම කෙරෙහි පමණක් නොව බිතුසිතුවම් කලාවටද කීර්ති ශ්‍රී රජුගෙන් ලැබුණු විශිෂ්ට අනුග්‍රහය නිසා උඩරට රාජධානි සමයට අයත් බිතුසිතුවම් වලින් වැඩි ප්‍රමාණයක් නිර්මාණය කරන ලද්දේත් එම සිතුවම් කලාවේ උච්චතම අවස්ථාව උදාවූයේත් මෙකල දී බව පෙනේ.
එකී පුනර්ජීවනය උඩරට රාජධානියෙන් බැහැර ප්‍රදේශයන්හි සිතුවම් කලාවටද බලපෑමක් සිදු කරන ලදී. පහතරට සිතුවම් ඔස්සේ තවදුරටත් එය විමසා බැලීමට මෙහිදී අපේක්ෂිතය.


පහතරට සිතුවම්
මහනුවර රාජධානි සමයෙහි උඩරට සිතුවම් කලාව ඇසුරු කොට ගනිමින් දිවයිනේ පහතරට ප්‍රදේශයන් පුරාද සිතුවම් කලාව පැතිර යනු දක්නට ලැබේ. වෙසෙසින්ම දකුණු හා බටහිර පළාත්බදව ප්‍රචලිත විය.මේවායේ කාල නිර්ණය සම්බන්ධයෙන් තරමක ගැටලූකාරී මතවාදයන් පැන නැගුනද ආසන්න වශයෙන් මහනුවර සම්ප්‍රදායයේ බිතු සිතුවම් පහතරට ප්‍රදේශයන් හි ව්‍යාප්ත වීම උදෙසා ප්‍රධාන වශයෙන් කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ අවධියෙහි ඇති වූ බෞද්ධ පුනරුදය බලපාන්නට ඇත.මේ පිළිබඳව සිය අදහස් දක්වමින් සේනක බණ්ඩාරනායක දක්වන්නේ වැලිවිට සංඝරාජ හිමියන් තම ශිෂ්‍ය පිරිසට පහතරට ප්‍රදේශවල බෞද්ධ විහාරස්ථාන ආරම්භ කොට පවත්වා ගැනීමට උනන්දු කළ බවයි.

තත්කාලයේ ස්වදේශික ධනේශ්වර පන්තියක් වර්ධනය වීමත්,ඔවුන්ගේ බෞද්ධ පුනර්ජීවනය උදෙසා ලැබූ අනුග්‍රහයත් චිත්‍ර කලාවේ උන්නතියට බලපෑ වැදගත් සාධකයන් විය.විශේෂයෙන් ධනේෂ්වර ප්‍රභූ පැලැන්තිය අතර විහාරස්ථාන ගොඩ නැංවීමට තරගකාරීත්වයක් පැවතුණි.මෙලෙස ඉදිවන විහාරස්ථානයන් හි සිතුවම්කරණයට පාරම්පරික ශිල්පීන් සාපේක්ෂ වශයෙන් හිඟ වීම නිසා පාරම්පරික චිත්‍ර ශිල්පය පුහුණු නොකළ ශිල්පී පරම්පරාවක් පහතරට බිහි විය.
උඩරට සිතුවම් වල බලපෑමෙන් ඇති වූවා යැයි සැලකිය හැකි පහතරට සිතුවම් තුළ උඩරට සිතුවම් හා සමාන වන අංගයන් ද වේ.නමුත් ඊට සාපේක්ෂව ඉස්මතු වී පෙනෙන සියුම් වෙනස්කම් ද වෙයි.ශෛලීය හා අනුගමනය කළ ශිල්ප ක්‍රමය අතින් යම් සමාන බවක් පෙන්නුම් කළ ද මනුෂ්‍ය රූප වල හැඩය,ඇඳූම් පැළදුම්,රේඛාකරණය,පසුබිම් හා පසුබිම් සැරසිලි,භාවිත වර්ණාලේපයන් හි සැලකිය යුතු වෙනසක් ඉස්මතු වී පෙනෙයි.

මහනුවර චිත්‍ර සම්ප්‍රදායය ව්‍යාප්ත වූ පහතරට විහාරස්ථාන ලෙස කතළුව පූර්වාරාමය,තොටගමුවේ සුභාරාමය,දොඩම්දූවේ ශෛලබිම්බාරාමය, වැල්හේන්ගොඩ විජයසුන්දරාරාමය,අම්බලන්ගොඩ සුභද්‍රාරාමය,දොඩන්දූව කුමාරකන්ද රජමහා විහාරය,බෝගහගොඩැල්ල පරමකන්ද විහාරය,තොටගමු විහාරය,කරගම්පිටිය සුබෝධාරාමය, මුල්කිරිගල රජමහා විහාරය,කැළණිය රජමහා විහාරය,වැලහිද සුදර්ශනාරාමය, හික්කඩුවේ සුධර්මාරාමය,කළුතර පුලිනතලාරාමය, මාතර මහාමන්තින්ද මහ පිරිවෙන,අකුරැස්ස ඇල්ගිරි විහාරය,කොටහේන දීපදුත්තරාරාමය, ඈතගම විහාරය ආදිය දැක්විය හැකි වේ.

දහඅට හා දහනව වන සියවස් හි ලංකාවේ පැවති සමාඡ ක්‍රමය වෙරළබඩ කලාපයේ විසූ ජනතාවගේ ජීවන ක්‍රමය විදේශයන්ගේ සංස්කෘතිමය සම්ප්‍රදායන්ගේ ප්‍රවාහයට හසුවූ බව පහතරට සිතුවම් විමර්ශනයේදී පෙනී යයි. සිතුවම් හි තේමා භාවිතයේදී උඩරට සිතුවම් ගත් මඟ ගනු ලැබුවද ඒ සඳහා අදාල පරිසරය, ඇඳූම් පැළඳූම්, යානවාහන, ගෘහ භාණ්ඩ ආදීය සිතුවම්කරණය කිරීමේදී පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රිසි සංස්කෘතික ලක්ෂණ මතුව පෙනෙයි.

කතළුව පූර්වාරාමයේ පටාචාරා කතා වස්තුවේ පටාචාරා මෙහෙණිය නැවට නංවා ගැනීමට කටයුතු කරන පුද්ගලයා හා නැවියා යන දෙදෙනාම යුරෝපීය ඇඳූම් කට්ටලයක් හැඳ යුරෝපීය හිස්වැසුම් ලා ගත් අය වෙති. කතළුව දොඩම්ගොඩ සුදර්ශනාරාමයේ සිදුහත් යශෝදරා විවාහය දක්වා සිටින්නේද යුරෝපීය විවාහයක් ලෙසින්ය. දෙදෙනාම සපත්තු පැළද සිටිති. සිදුහත් කුමරු හිසලා ඇති ඔටුන්න බි්‍රතාන්‍ය කිරීටයක් ලෙස පෙනෙයි.යශෝදරා ද ගවුමක් ඇඳ ඇති අතර වරලස මලින් සරසා තිබේ.

ගොඩනැගිලි සිතුවම් කිරීමේදී ද බොහෝ ලෙසින් අර්ධ කවාකාර ආරුක්කු සහිත දොර ජනෙල් හා බටහිර පන්නයට නෑකම් කියන පියසි,කුළුණු ආදිය කැටයම් සහිතව යොදා ගෙන තිබේ.මේ කාලය තුළ පහතරට සමාජය සඳහා දැඩි වශයෙන් බලපවත්නා ලද විදේශිය සංස්කෘතිමය බලපෑමෙන් සිත්තරාද යටපත් වූ බවට මේ සිතුවම් දෙස් දෙයි.එසේ නමුදු තදබල විදේශිය පාලනයක් යටතේ වූවද විදේශිය ලක්ෂණ පරයා යමින් දේශිය ලක්ෂණ ඇඳ දැක්වීමට සිතුවම්කරුවා දරනු ලැබූ උත්සාහයක ඡායාමාත්‍රයක් පහතරට සිතුවම් ගැඹුරින් විමසා බැලීමේදී පෙනී යයි.


ලාංකේය සිත්තර සමාජය ලාංකේය සිත්තර සමාජය පිළිබඳ පුරාතන යුගයේ පටන් අභිලේඛන හා සාහිත්‍ය මූලාශ්‍රයන් හි තොරතුරු සඳහන් වේ.සිතුල්පව්ව අභිලේඛනය තුළ වඩ්ඪක හා වඩ්ඪකී ලෙසින් ද පෙරියකටු ලිපියෙන් කැටයම් කරුවන් පිළිබඳ සඳහන් වීමක්ද විලච්චියේ කොරළයේ බිල්ලවගලින් චිත්‍ර ශිල්පියෙකු පිළිබඳව තොරතුරුද හෙළි වේ.

මධ්‍යතන යුගයේ සාහිත්‍ය ග්‍රන්ථ අතර ද සිතුවම් කලාව හා චිත්‍රශිල්පීන් පිළිබඳව යම් යම් තොරතුරු ඇතුළත්ය.සද්ධර්මරත්නාවලිය,පූජාවලිය, චූලවංසය, නිකාය සංග්‍රහය, සද්ධර්මාලංකාරය, මයුර සංදේශය හා තිසර සංදේශය ඒ අතර ප්‍රමුඛ වෙයි.

පෙර සඳහන් කළ පරිදි මහනුවර යුගය වන විට සිතුවම් කලාවේ නව නැඹුරුතාවක් දක්නට ලැබේ. සම්භාව්‍ය සම්ප්‍රදායයෙන් චූල සම්ප්‍රදායයට පරිවර්තනය වීමේ අවධිය ලෙස මෙම යුගය හැදින්විය හැකිය.එය එක් අංශයකින් ජන කලා විශේෂාංගයක් ලෙස සාමාන්‍යකරණය වීම සමග රාජධානිය පැතිරුණු ප්‍රදේශයෙන් පිට පවා ශිල්පීන් සිටි බවත් ඔවුන් විහාරාරාම සිතුවම් කළ බවත් මේ යුගයේ අභිලේඛන හා සාහිත්‍ය මූලාශ්‍ර ඔස්සේ පෙනී යයි.[සංස්කරණය] මහනුවර යුගයේ අභිලේඛන හා වෙනත් මූලාශ්‍ර මඟින් හෙළි වන සිත්තර සමාජය

මහනුවර යුගයට අයත් ලංකාතිලක ශිලා ලිපිය, ලංකාතිලක තඹ සන්නස, ගඩලාදෙනි ශිලා ලිපිය, මඩවල ගිරිලිපිය, දෙගල්දොරුව සන්නස, දඹුලූ විහාර තුඩපත, මැටියගනේ සන්නස, මැදවල විහාර තඹසන්නස, මැදවල විහාර පිං වට්ටෝරුව තුළින් මහනුවර යුගයේ සිතුවම් කලාව සම්බන්ධ සිත්තරුන්, එකී සිත්තරුන් උදෙසා දුන් වරප්‍රසාද හා දීමනා පිළිබඳවත්, සිතුවම් කර්මාන්තය උදෙසා අනුග්‍රහකත්වය ලබාදුන් රජුන්, ප්‍රභූන් පිළිබඳවත් බොහෝ තොරතුරු හෙළි වේ.
ගංඟාරාම විහාර සෙල් ලිපියෙහි උදාරතර පූජෝත්සවයෙන් එහි නැඟ කොත් මිලියනය කොට චිත්‍රකාරාදීන්ට දුනමනා විඥානක අවිඥානක වස්තු ප්‍රදානයෙන් සිත් සතුටු කරවා ලෙසින් ශිල්පීන් සඳහා ලබා දුන් වරාප්‍රසාදයන් පිළිබඳව දැක්වේ. මෙයින් චිත්‍රකාරාදීන් සඳහා සෑහෙන තරමේ සමාජ තත්ත්වයක් පැවති බව පෙන්නුම් කෙරේ. එමෙන්ම ප්‍රභූ ජනයාගේ අනුග්‍රහය මත සිතුවම් ගොඩනැගුණාය යන මතයද මේ ඔස්සේ යම්තාක් දුරට ස්ථාපනය වෙයි.

සාහිත්‍යම මුලාශ්‍ර වන චූලවංසය,දළ වංසය,විදුරජාතක කතාව,මන්දාරම් පුවත, සුළු රාජාවලිය, නීලකොබෝ සන්දේශය, ගණදෙවි හෑල්ල ආදියේ මහනුවර යුගයට අයත් සිතුවම්කරණයන්, එකී ක්‍රියාවලිය සිදු වූ ආකාරයත්, සිත්තරුන්ගේ දායකත්වයත් ඒ සඳහා පෙරළා ඔවුන්ට පුද පඩුරු ලැබීම් ආදියත් පිළිබඳව තොරතුරු සඳහන් වේ. ගණදෙවි හෑල්ලෙ හි තරුණ ගණේෂට මාළිගයක් සෑදීම පිළිබඳව මෙසේ සදහන් වේ. බිත්ති මැටි පදලමින් සුනු පදනම්ලා ඔසින් මකර රුව හංසයින් ගවර දිවි සිංහයන් මොනරු හා ගිරවුනුත් කොඛෙයියන් හා කුකුළනුත් පරවි සොඳ කොවුලනුත් ඇඳ බිත්ති වල මෙසින් සිත්තරකු ගෙන්වනා ආසනේ තබමිනා උඩු වියන් බඳිමිනා වටතිරද අඳිමිනා

ගණේෂට සෑදූනු මාළිගයෙහි ඇඳි සිතුවම් පිළිබඳවත් එසේ සිතුවම් ඇදීම උදෙසා සිත්තරාට කරනු ලැබූ ඇගයීම්ද මෙයින් පසක් වේ. නීලකොබෝ සෙඳස ද සිතුවම් පිළිබඳ මෙසේ දෙස් දෙයි. ඛෙලෙන් සුරා වූ විස්කම් පුර වැද අසල කලෙන් සුරානේ සිග වග සිතුවම් නුදුල පලෙන් සිරි කදුරු රුක වෙත හිඳ නොසෙල පොළොන්නරු වෙලෙස සැදි අම්බලම බල පල බර කදුරු රුක මත හිඳ විස්කම් දෙවි පුතුගේ බලයෙන් නිම කළ ලෙස පෙනෙන චිත්‍ර කර්මාන්තයෙන් යුතු පොළොන්නරු වෙලේ අම්බලමේ සිතුවම් දකින ලෙසින් කරන ආරාධනයක් මෙහි වෙයි. සිතුවම්කරණයන් හි ස්ථාන ගත වීම පිළිබඳව අනාවරණයක් ද මෙහි වෙයි.

අනෙකුත් මූලාශ්‍ර ඔස්සේ විහාරාරාම හා දේවාලයන් හි සිතුවම් පිළිබඳව දැක්වෙතත් නීලකොබෝ සදෙස අම්බලමක ඇඳ තිබූ සිතුවම් පිළිබඳව තොරතුරක් සපයයි.අම්බලමක තුළ පවා විස්කම් දෙවි පුතු බලයෙන් නිම කල ලෙසින් පෙනෙන තරමට අලංකාරික සිතුවම් කරණයක් පැවතියේ නම් එකල සිතුවම් කලාව කෙරෙහි පැවති නැඹුරුතාවයෙහි තරම එයින් වටහා ගැනීමට පුළුවන.

සුළු රාජාවලියෙන් චිත්‍රකාරාදීන්ට හස්ති රත්න පණහක දී බරපැන් දී ඔවුන් සතුටු කරවා ලෙසින් දක්වා තිබීමෙන් එවකට සිත්තරුන් වෙත ශිල්පකර්ම උදෙසා ලබා දුන් වරප්‍රසාදයන් පෙන්නුම් කෙරේ.මෙලෙසින් සිතුවම් කරුවන්ට පුදපඩුරු නොමසුරු ලෙස දීමට තරම් තදනන්තර අනුග්‍රහකයින් තුළ පැවති සිතුවිල්ල හුදෙක් එම සිතුවම් කෙරෙහි පැවති පැහැදීම ද ඔවුන්ගේ කලා රසඥතාවයේ මනෝහර බවද යන්න විමසිය යුතු වේ. අනුග්‍රහකයින් පිළිබඳව අතීත කථාවන් හැදෑරීමේදී මහනුවර යුගයද පුරාණ භාවිතයන් එලෙසම පවත්වාගෙන ගිය බවට තොරතුරු හෙළිදරව් වේ.

මේ යුගය වන විට ආරාම සෑදීම සඳහා මූලිකත්වය ගන්නා ලද රජුන් ප්‍රභූන් හෝ අනෙකුත් පුද්ගලයින් පින් රැස්කර ගැනීමේ අභිලාශයෙන් කරන ලද පින්කම් හි නියම පින ලබා ගැනීමේ අටියෙන් කටයුතු කළ බැව් පෙනේ.

No comments:

Post a Comment