කාලිංග දේශයේ සිට සෙංකඩගල දක්‌වා දන්තධාතූන් වහන්සේ පැමිණි අසිරිමත් ගමන

කාලිංග දේශයේ සිට සෙංකඩගල දක්‌වා 
දන්තධාතූන් වහන්සේ පැමිණි අසිරිමත් ගමන

අදින් අවුරුදු දෙදහස්‌ හාරසිය හැත්තෑ පහකට පමණ පෙර බුදුන් වහන්සේ කුසිනාරා නුවරදී පිරිනිවන් පෑ සේක. මෙම ප්‍රවෘත්තිය දඹදිව පමණක්‌ නොව දෙව් බඹුන් අතරද, පැතිර ගියේය. ශ්‍රී දේහය ආදාහනය කිරීමෙන් පසු භෂ්මාවශේෂ බෙදා ගැනීම සඳහා දෙව් බඹුන්, ශාක්‍යයන්, ක්‍ෂත්‍රියන්, කෝලියන්, මල්ලවයන්, ලිච්ඡවීන් ආදීන් අතර වූ ගැටුම සමනය වූයේ ෙද්‍රdaණ බමුණාගේ මැදිහත් වීමෙනි. ෙද්‍රdaණ බමුණා භෂ්මාවශේෂ නැලි අටකට සමානව බෙදා දීමෙන් පසු ගැටුම විසඳුණි. ශාරීරික ධාතු මෙසේ බෙදා දීමෙන් පසුව ඉතිරි වූ දත් සතරක්‌ බෙදා ගත් අයුරු මහා පරිනිර්වාණ සූත්‍රයෙහි දැක්‌වේ. එක්‌ දළදාවක්‌ දෙවියන් වෙතද, තවත් දළදාවක්‌ ගන්ධාර පුරයටද, තවෙකක්‌ නා රජවරු වෙතටද අනෙක කාලිංග රජුටද ලබාදී ඇත. අද අප වැඳුම් පිදුම් කරමින් වාර්ෂිකව දළදා පෙරහැර පවත්වමින් ගෞරවාචාර දක්‌වන්නේ එම කාලිංග රජු ලබාගත් දන්තධාතූන් වහන්සේටය. මහසෙන් රජු (274-301 ක්‍රි.ව.) දවස කාලිංග දේශයේ (නූතන ඔරිස්‌සා) ගුහසීව රජු සමග පැවතියේ දැඩි මිත්‍රත්වයෙකි. එකල ඉන්දියාවේ පැවති මුස්‌ලිම් ආක්‍රමණ නිසා ගුහසීව රජ සිටියේ සතුරු සේනා කවර වේලාවක හෝ තම රාජ්‍යය ආක්‍රමණය කරාවිදෝ යන සැකයෙනි.

මේ අතර පාඨලීපුත්‍ර (නූතන පැට්‌නා) නගරයේ සිට පණ්‌ඩු නම් රජතුමා සමග යුද්ධයක පැටලීමට ගුහසීවට සිදු විය. මෙම තත්ත්වය සිය අමාත්‍ය මණ්‌ඩලය ද සමග සාකච්ඡා කළ රජු සියලු දෙනාගේම අනුමැතිය ඇතිව දළදාව ආරක්‌ෂාව සඳහා ලංකාවට එවිය යුතු යෑයි තීරණය කළේය. නමුත් දළදාව ලංකාවට යවන්නේ කෙසේද, එහි ආරක්‌ෂාව සපයන්නේ කෙසේද, කවුරුන් භාරයේ යවන්නේද, එය ස්‌පර්ශ කිරීමට සුදුසු අය කවුරුන්ද යන ප්‍රශ්න රාශියකට රජතුමාට පිළිතුරු සැපයීමට සිදු විය. රජතුමා ඒ සඳහා සුදුසු යෑයි හැඟුණු පිරිසක්‌ මාලිගයට කැඳවා ඒ අතරින් මෞරිය වංශික කුමාරයෙකු තෝරා ගන්නා ලදුව ඔහුට තම දූ කුමරිය පාවා දුන්නාය. පසුව ඇඟිල්ලක තරම වූ මඳක්‌ වක්‍රාකාර රන් කරඬුවක්‌ සාදවා දන්ත ධාතුව එය තුළට දමා ආරක්‌ෂිතව වසා දැමුවේය. ඉන්පසුව තම දුවගේ කේශ කලාපයෙහි කරඬුව ඔතා සඟවා තබා අනතුරක්‌ නොවන පරිදි තහවුරු කොටගෙන ගමනෙහි යෙදෙන පිරිස නැවකට නංවා පා කර හැරියේය. මෙම සිද්ධිය අදින් වසර එක්‌දහස්‌ හයසිය අසූ නවයකට පෙර සිදු වූවකි. මෙම පිරිස රැගත් රුවල් නැව කුණාටුවකට අසුව රුහුණේ එකල තිබූ විශාල වරායක්‌ වූ වාලුකාතීර්ථ නම් වරායට ගොඩ වැදුණේය.

මේ ස්‌ථානය ඉතාම දර්ශනීය වූ සුදුපාට වැල්ලෙන් යුත් ගංගාව මහා සමුද්‍රයට එක්‌වන ස්‌ථානයකි. එම පිරිස මෙම ස්‌ථානයේ වූ චමත්කාර දර්ශනීය පරිසරයෙහි සිරි විඳ ගැනීම පිණිස එම තොටුපළින් වැල්ලට ගොඩ බැස ඇත. මෙම ස්‌ථානයට කළිඟු බසින් කීරවාලුකා යෑයි නම් කළේය. කුමාරිය සහ කුමරා සමඟ පැමිණි පිරිස මෙහි වාසය කර ඇත. කළිගු භාෂාවෙන් කීරවාලුකා කී පෙදෙස සුදුපාට වැල්ලෙන් යුක්‌ත විය. පසුව මෙම ප්‍රදේශය වැලිතර හා බ්‍රහ්මණවත්ත විය. දළදාව සමඟ පැමිණි බ්‍රාහ්මණ පිරිස පදිංචි වූ ස්‌ථානය බ්‍රාහ්මණවත්ත.

වැල්ලේ සෙල්ලම් කරති - ධාතු කරඬුව අතුරුදන්

නැවෙන් ගොඩබට පිරිසට වැල්ලේ ඇවිද යැමටත් සෙල්ලම් කිරීමටත් ආශාවක්‌ ඇති විය. පසුව දිය නෑමට ද සිත් වී කුමරියගේ කේශ කලාපයෙහි සඟවා තිබූ ධාතු කරඬුව එහි ඕවිටි බිමක සඟවා තබා දිය නෑමට වන්හ. දිය නෑමෙන් පසු ගොඩට පැමිණි පිරිසට සඟවා තැබූ ධාතු කරඬුව එම ස්‌ථානයෙහි නැති බව පෙනී ගියේය. මහත් විලාප දෙමින් හඬමින් වැල්ලේ එහෙ මෙහ දුවන පිරිස දුටු දේවතාවෝ එහි පැමිණ කරුණු විමසා මහත් සමෘද්ධි සම්පන්න සෘද්ධ බලැති මහරහතන් වහන්සේ නමක්‌ එතැනට කැඳවීය. එම රහතන් වහන්සේ විසින් ධාතු කරඬුව නැවත සොයාදෙන ලදී. මෙම ධාතූන් සැඟවූ වැල්ලට මරදන්වැල්ල යෑයි කියති. දන්තධාතු කරඬුවට වූයේ කුමක්‌ද? මෙම ස්‌ථානයට කිට්‌ටුව ඇති නයිදූව නම් දූපතක සිටි නාගයෙකු විසින් දළදාව ගිලදමන ලදී. මෙම පෙදෙසෙහි ශ්‍රී මහා බෝධි අංකුරයක්‌ද ඇත. මෙම දූවෙහිදී දන්තධාතුවට නැවත අනතුරක්‌ වේ යෑයි සිතා කොතක්‌ ඉදිකර කරඬුව එහි තබන ලදී. එම දූව එතැන් පටන් කොත්දූව විය. ධාතු කරඬුව වැලලූ ඕවිට වැලිඕවිට යෑයි කියා පසුව වැලලූ කෝරළය විය. අද වැලලූවිට කෝරළය වල්ලාවිට කෝරළය නමින් ප්‍රසිද්ධය. මෙසේ ක්‍රි.ව. 305 දී කිත්සිරිමෙවන් රජුට භාර දෙන තෙක්‌ දළදාව මෙම කොත්දූවෙහි තිබී ඇත. දළදාව හේමමාලි හා දන්ත කුමරු ඇතුළු දූත පිරිස සමඟ ලංකා පටුනට ගෙනෙන ලද්දේ මින් පසුවය. ලංකා පටුන ත්‍රස්‌තවාදී ග්‍රහණයෙන් මුදාගෙන බෞද්ධ බැතිමතුන්ට දැක බලා වැඳ පුදාගත හැකි ප්‍රදේශයක්‌ බවට නැවතත් පත් කළේ අපේ ගරු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මැතිතුමාය.

මහසෙන් රජතුමා වෛතුල්‍යවාදය වැළඳගෙන බෞද්ධ සිද්ධස්‌ථානවලට හා මහා සංඝයා වහන්සේට නොයෙක්‌ හිංසා පීඩා කරමින් සිට මියගිය බැවින් මේ වන විට ලංකාවේ රජ කළේ එතුමාගේ ජ්‍යෙෂ්ඨ පුත්‍ර රත්නය වූ කිත්සිරි මෙවන්ය. මෙම රජතුමා සහ බිසව බුද්ධගයාවට ගොස්‌ වැඳ පුදාගත් බව දැක්‌වෙන ශීලා පිළිරුවක්‌ අදත් බුද්ධගයාවෙහි දැකගතහැකිය. කිත්සිරිමෙවන් රජතුමා ධාතු කරඬුව වාර්ෂිකව අභයගිරි විහාරයට වඩමවා නව ලක්‌ෂයක්‌ ධනය වියදම් කරවා පෙරහැර පැවැත්වූ බව වංශකතාවල සඳහන්ය. රජතුමා විසින් ඇරැඹි දළදා පෙරහැර අද දක්‌වාම අවුරුදු දහස්‌ ගණනක්‌ නොකඩවා කරගෙන යනු ලැබේ. කිත්සිරි මෙවන් රජතුමා හා දළදාවෙහි බැඳීම කොපමණද යත් දළදාවේ භාරකරු රටේ රජු වශයෙන් පිළිගැනීමට ලක්‌විය. පස්‌වන මහින්ද (ක්‍රි.ව. 982-1029) සමයෙහි චෝලයන් කළ මෙරට ආක්‍රමණයකදී මහින්දගේ දෑස්‌ද ගලවා දමා දළදාව රුහුණට පැහැරගෙන යන ලදී. දළදාවේ භාරකාරත්වය නොදැරූ කිසිවෙකු රටේ රජ වශයෙන් පිළිනොගැනිණි. අනුරාධපුර රාජධානි සමයෙහි එහි තිබූ දළදාව පොළොන්නරු රාජධානිය ඇරැඹූ පසු පොළොන්නරුවට ගෙන යන ලදී. මහා පරාක්‍රමබාහු යුගයේදී එහි තිබූ දළදාව රැගෙන සුගලා දේවිය පලා ගියෙන් ඇය නූතන මොණරාගල දිස්‌ත්‍රික්‌කයේ ඇතිමලේදී අල්ලා ගන්නා ලදුව දළදාව ද ආපසු රැගෙන පොළොන්නරුවේ දළදා මාලිගයක නැවත තැන්පත් කරන ලදී. පොළොන්නරුව රාජ්‍යය බිඳ වැටෙන විට දළදාව රහසිගතව තැන්පත් කර තැබුයේ කොත්මලේ සුපුල්පිටිය විහාරයේය. තුන්වන විජයබාහු දඹදෙනි රාජ්‍ය ආරම්භ කළ පසු සුපුල්පිටියේ විහාරයේ තිබූ දළදාව බෙලිගල මාලිගයක තැන්පත් කර පසුව උත්සවශ්‍රීයෙන් දඹදෙණිය කරා ගෙන යන ලදී. එතැනින් පළමුවන බුවනෙකබාහු යාපහුවටද පසුව දඹදෙණිය සුන්දරගිරි විහාරයේද දළදාව තබා තිබුණේය. දෙවන බුවනෙකබාහු දළදාව කුරුණෑගල දළදා මාලිගයෙහි එය තැන්පත් කළේය. විජයබාහුගේ සොයුරු හතරවෙනි බුවනෙකබාහු දළදාව ගම්පොල විගුලවත්ත විහාරයට ගෙන ගියේය.

දළදාව කෝට්‌ටේ රාජධානියේ

වන්නිබුවනෙකබාහු නොහොත් තුන්වන බුවනෙකබාහුගේ නමින්ද හඳුන්වන දුම්බර මැණික්‌තිලක වන්නි උන්නැහේගේ මුණුබුරා වූ වීර අලකේශ්වර කෝට්‌ටේ රාජධානිය පවුqරු පදනම් ශක්‌තිමත් කොටගෙන සිය යටතට ගත්තේය. කෝට්‌ටේ රජ කළ හත්වෙනි බුවනෙකබාහු රජ දක්‌වා දළදාව කෝට්‌ටේ දළදා මාලිගයක තබා තිබිණි. එවිට බුවනෙකබාහු රජු දුටු සිහිනයකින් කියවී ඇත්තේ "කෝට්‌ටේ කළාලෙ ඉල්ලේ දත මැද ගන් මහරජ" යන්නයි. මේ පිළිබඳ විමසූ විට රජතුමාට දැනගත හැකි වූයේ කෝට්‌ටේ දන්තධාතුව අනතුරේ, එබැවින් එය රට මැදට ගන්න යෑයි අවවාදයක්‌ බවයි. රජතුමා ධර්මපාල රජුගේ පියා වූ වීදිය බණ්‌ඩාරට මේ බව දැනුම් දී දළදාව ඉවතට ගෙන යන ලෙස අණ කළත් රජතුමා සිය මාලිගය තුළදීම ඊතලයකින් විද මරා දැමූ බැවින් මෙම විධානය ඉටු නොවීය. වීදියබණ්‌ඩාර ධාතු කරඬුව සිය බඳ පටියේ සඟවා තබාගෙන සිටියේය. වර්ෂ 1552 දී වීදිය බණ්‌ඩාර පෘතුගීසීන් විසින් අල්ලා හිරකර තබන ලදී. වීදිය බණ්‌ඩාරගේ බිසව සමුද්‍රd දේවිය 1553 දී සිරගෙය කඩා වීදියබණ්‌ඩාර එළියට ගන්නා විටත් දන්තධාතුව ඔහු සන්තකයේ තිබිණි. වීදිය බණ්‌ඩාර කෝට්‌ටේ සිට මාතර දක්‌වා කතෝලික පල්ලි ගිනි තබා පූජකවරුන් මරා දැමීමේ ක්‍රියාන්විතයට එළඹීමට පෙර තමා සතුව තිබූ දළදාව ඉහත කී කොත්දූවෙහි තබා ගියේය. රටේ පැවති මෙම අවුල් සහගත තත්ත්වයේදී දළදා වහන්සේ සබරගමුවේ දෙනගමු විහාරයේ ඇඹරුම් ගලක්‌ යට සඟවා තැබුයේ ගලඋඩ තෙරුන්නාන්සේ හා හිරිපිටියේ දිවානරාලය. මෙසේ දෙනගමුව විහාරය තෝරාගෙන ඇත්තේ එහි ඇති චෛත්‍යය මලියදේව මහරහතන් වහන්සේගේද ධාතු නිදන් කොට ඇති බැවින් හා තවද මලියදේව රහතන් වහන්සේගේ ඥතීන් එම ප්‍රදේශයේ බැවිනි.

කෝට්‌ටේ සිට සෙංකඩගලට

සබරගමුවේ තිබූ ධාතූන් වහන්සේ විමලධර්මසූරිය රජු විසින් සෙංකඩගලට වඩමවා ගෙන එන ලදී. විටින් විට පැමිණි සතුරු ආක්‍රමණයන් නිසා දළදාව මුල්ගිරිගල, රිදී විහාරය, දෙනගමුව, කිවුල්ගම, කිතුල්පෙ, හඟුරන්කෙත, මැද මහනුවර ආදී ස්‌ථානවලද තබා ඇත. දළදාව නිසා අපේ භාෂා සාහිත්‍යය පෝෂණය වූයේ ඒ පිළිබඳව ලියවී ඇති විවිධ ග්‍රන්ථ නිසාය. ධාතුවංශ, දළදා සිරිත, දළදා පූජාවලිය, දළදා වංශය, දළදා වතුර, දළදා හටන ඉන් සමහරක්‌ ය. දාඨා ධාතු චරිත්ත නම් දළදා වැඳීමේදී අනුගමනය කළ යුතු චාරිත්‍ර තිස්‌ අටක්‌ ඇතුළු පාලි ග්‍රන්ථයක්‌ හතරවන පරාක්‍රමබාහු විසින් ලියා ඇත. දළදාව නිසා අපේ වාස්‌තු විද්‍යාවටද අමුතු ගොඩනැඟිලි ක්‍රමවේද එක්‌ව ඇත. වටදාගේ අටදාගේ හැටදාගේ යාපහුව දළදා මාළිගය ආදී වාස්‌තු විද්‍යාත්මක ඉදිකරීම් එවැනි ගණයට අයත්ය. අලුත් සහල් මංගල්‍ය, නේත්‍ර මංගල්‍ය ආදී චාරිත්‍ර වාරිත්‍ර විධි අපේ සමාජයට හුරු විය. දළදාව තැනින් තැනට ගෙන යැමේදී එම ප්‍රදේශවලටද මෙම විවිධ චාරිත්‍ර හා වාරිත්‍ර ද ව්‍යාප්ත විය. මෙපමණක්‌ නොව අපේ කලා ශිල්ප කෙරෙහි ද අති විශාල බලපෑමක්‌ ඇති විය. බෙර දවුල් තම්මැට්‌ටම් ආදී තූර්ය භාණ්‌ඩ ද අපේ සංස්‌කෘතිය හා කලා මංගල්‍යවලට එක්‌ විය. මෙම චාරිත්‍රය සිරිමා බෝ මෙරටට ගෙන ආ දවස පටන්ම අපේ සංස්‌කෘතියට එක්‌ විය. එය ජනවංශය පොතෙහි මෙසේ සඳහන් වේ. "ජය මහ බෝධීන් වහ්නසේ සමඟ ආතොඡ්ජවාද්‍ය කුල ජ්‍යෙෂ්ඨයෙකු නිල කොට තොපි මේ වාද්‍යයන් සමග ලක්‌දිවට ගොස්‌ ජයමහ බෝධියට තුන් වේලේ වාද්‍යකර හෙවත් හේවිසි කරුවයි, භේරීවාද්‍ය අමාත්‍යයෙකු සමග ලක්‌ දිවට එවා" ආදි වශයෙනි. දළදාව නිසා සිංහල රටේ භාෂාවට සාහිත්‍යයට සංස්‌කෘතිය ආදියට සිදුව ඇති මෙහෙය අති විශාලය.